කිසිදු පුරවැසියෙකු මඟ නොහැර සියලු දෙනාට සම අයිතිවාසිකම් සහ සම අවස්ථා තහවුරු කිරීම රජයේ මූලිකම ප්‍රතිපත්තිය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
ජනාධිපති අරමුදල මගින් සංවිධානය කළ “සරසවි දිරියෝ අභිමන්” ආබාධ සහිත විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇගයීමේ උත්සවය යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර, එහිදී උතුරු පළාතේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සිසුන් 75 දෙනෙකු වෙත ඇගයීම් සහතික සහ රුපියල් ලක්ෂය බැගින් වූ මූල්‍ය ප්‍රදානයන් සිදු කෙරිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ අපේ රටේ වැඩිම ආබාධ සහිත පිරිසක් ජීවත් වන්නේ උතුර සහ නැගෙනහිර ප්‍රදේශවල බවත්, එය අමිහිරි යුද්ධයේ තවත් ප්‍රතිඵලයක් බවත්ය. යළි යුද්ධයක් ඇති නොවන සහ යුද්ධයක් ඇති වන සාධක නැති කරන රජයක් ලෙස මෙම වැඩසටහන එම පළාතේ ක්‍රියාත්මක කිරීමට ලැබීම ගැන සතුටු වන බව ඇය පැවසුවාය.
සාමාන්‍ය ශිෂ්‍යයෙකුට වඩා සිය දහස් වාරයක භෞතික හා ආකල්පමය බාධක ජය ගනිමින් විශ්වවිද්‍යාල මට්ටමට පැමිණි මෙම සිසුන්ගේ නොසැලෙන මානසික ශක්තිය අනෙක් තරුණ පරපුරට විශාල ආදර්ශයක් බව ද අගමැතිවරිය අවධාරණය කළාය. ආබාධිත සිසුන් අත්හැර දැමීමකින් තොරව අඩු ආදායම්ලාභී පවුල්වල ආබාධිත සිසුන් සඳහා මාසික දීමනාවක් ලබා දීම මෙන්ම තාක්ෂණික සහය ලබා දීමේ නියමු ව්‍යාපෘතියක් රජය විසින් ආරම්භ කර ඇති බවද ඇය සඳහන් කළාය.
මෙම අවස්ථාවට කථානායක ජගත් වික්‍රමරත්න, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගන්, ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් ඇතුළු මහජන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන් සහ සිසුන්ගේ දෙමාපියන් විශාල පිරිසක් එක්ව සිටියහ.
















