පැනමා කොඩිය යටතේ අයර්න් ඕර් (iron ore) තොගයක් රැගෙන ගමන් කරමින් තිබූ භාණ්ඩ ප්රවාහන නෞකාවක් බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේදී ගිලී ගොස්ඇත.
ඉන්දියාවේ ඔඩිෂා ප්රාන්තයේ පැරදීප් වෙරළට ඔබ්බෙන් වූ නාවික සැතපුම් 240 ක් පමණ දුරින් මෙම අනතුර සිදුව ඇති අතර, නෞකාව ගිලී යන අවස්ථාවේදී එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් 24 දෙනෙකු සිට ඇත. චීන ජාතිකයින් 20 දෙනෙකු, මියන්මාර ජාතිකයින් 3 දෙනෙකු සහ බංග්ලාදේශ ජාතිකයෙකු මීට ඇතුළත් වේ.
ඉන්දීය වෙරළාරක්ෂක බලකාය සහ නාවික හමුදාව එක්ව මේ වන විට පුළුල් සෝදිසි සහ සහන මෙහෙයුම් දියත් කර ඇති අතර, ජීවිතාරක්ෂක පාවෙන පාලම් (life rafts) මත සිටියදී නෞකා කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු බේරා ගැනීමට සමත්ව ඇත. අනෙක් පිරිස සෙවීම සඳහා නාවික හමුදා යාත්රා සහ අවට ගමන් ගන්නා අනෙකුත් වෙළෙඳ නෞකාද යොදවා තිබේ.
















