ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා යෝජිත 22 වැනි සංශෝධනය මඟින් ජනතාවගේ පරමාධිපත්‍යයට සෘජුවම බලපෑම් ඇති කරන බැවින්, එය මහජන අනුමැතිය සඳහා ජනමත විචාරණයකට ලක් කළ යුතු බව ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) දැඩි ලෙස අවධාරණය කරනවා. යාපනයේ පිහිටි ප්‍රධාන කාර්යාලයේදී රැස්වූ එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් මෙම තීරණයට එළඹ ඇති බවයි එම පක්ෂය නිවේදනය කරන්නේ. වත්මන් රජය විසින් හඳුන්වා දී ඇති මෙම නව නීතිමය තත්ත්වය ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ පරමාධිපත්‍යය සමඟ සමීපව බැඳී පවතින හෙයින්, එය පාර්ලිමේන්තුවේ පමණක් සම්මත කරගැනීම ප්‍රමාණවත් නොවන බව පක්ෂයේ ස්ථාවරය වී ඇත්තේ. ඒ අනුව, මෙහි සැබෑ අයිතිය හිමි ජනතාවගේ සෘජු අනුමැතිය ලබා ගැනීම පිණිස එය ජනමත විචාරණයකට ඉදිරිපත් කළ යුතු බවට ඉලංකෙයි තමිල් අරසු කච්චි සභාපති සී.වී.කේ. සිවඥානම් සහ මහ ලේකම් ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වේ.















