කිරිවත්තුඩුව ප්‍රදේශයේදී යකඩ පොල්ලකින් පහරදී 78 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු කහතුඩුව පොලිසිය විසින් කැස්බෑව කිඳෙල්පිටිය මහ පාලම අසල ළඳු කැලෑවක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. ඉකුත් 8 වැනි දින සිදුව ඇති මෙම අපරාධය සිදුකිරීමෙන් පසු සැකකරු පාගමනින් හොරණ හරහා රත්නපුරයට ගොස් පැල්මඩුල්ලට පැමිණ ඇති අතර, පසුව බස් රථයකින් ඇඹිලිපිටියට ගොස් සමීපතමයෙකුගේ නිවසේ රැඳී සිට ඇත.
අනතුරුව ඉකුත් 21 වැනිදා අලුයම කොළඹට හා බොරලැස්ගමුවට පැමිණ පලායාමේ අරමුණින් කැස්බෑව ප්‍රදේශයේ ළඳු කැලෑවක සැඟව සිටියදී පොලිසියට ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වී ඇති මෙම සැකකරු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
















