නව බදු ප්‍රතිසංස්කරණ හමුවේ මේ වන විටත් කොළඹ වරාය නගරය තුළ අමෙරිකානු ඩොලර් බිලියන 2.1 ක ආයෝජන තහවුරු වී ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ඉදිරි වසර 5 සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 4.1 ක ආයෝජන ලබා ගැනීමට ඉලක්ක කර ඇති බවයි. මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා මේ වන විටත් දැවැන්ත නිවාස ව්‍යාපෘති 2 ක්, නවීන හෝටලයක් සහ සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයක් වැනි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙමින් පවතී. වරාය නගරයේ අත්තනෝමතික බදු පහසුකම් ලෝක සම්මතයන්ට සමානව වෙනස් කිරීමට රජය පියවර ගෙන ඇති අතර, ප්‍රාථමික ආයෝජන සඳහා වසර 15 සිට 23 දක්වා බදු සහන සහ ද්විතීයික ආයෝජන සඳහා වසර 4 ක අඩු බදු ප්‍රතිශතයක් ලබාදෙන නව ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. මෙම ආයෝජන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා ලැබෙන ආයෝජනවලට අමතර ඒවා වන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
















