බදුල්ල ශික්ෂණ රෝහලේ සේවය කළ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකු අතුරුදන්ව සිටියදී සිදුකළ සෙවුම් මෙහෙයුමකදී, ඔහුගේ මෘත ශරීරය අද (24) උදෑසන සොයාගත් බව මහියංගනය පොලීසිය පවසයි.
මහියංගනය, මාපාකඩ 17 කණුව ප්‍රදේශයේ වියානා ඇළ අසල අතහැර දමා තිබූ මෝටර් රථයක් පිළිබඳව ලැබුණු තොරතුරකට අනුව පොලීසිය පරික්ෂණ ආරම්භ කර තිබිණි. ඊයේ (23) රාත්‍රියේ සිට එම ස්ථානයේ නවතා තිබූ මෝටර් රථය අතුරුදන් වූ වෛද්‍යවරයාට අයත් එකක් බවට හඳුනාගැනීමෙන් පසු ප්‍රදේශවාසීන් සහ පොලීසිය එකතුව සෙවුම් මෙහෙයුමක් දියත් කරනු ලැබීය.
වාහනය නවතා තිබූ ස්ථානයට ආසන්නයේ වූ වන ලැහැබක තිබී වෛද්‍යවරයාගේ මෘත ශරීරය හමුවී ඇති අතර, සිරුර අසල තිබී ඖෂධ පෙති වර්ගයක්ද සොයාගත් බව පොලීසිය සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් මහියංගනය පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.
















