මහ කන්නය කල් නොදමා කලින් ආරම්භ කර, ජලය යම් ප්‍රමාණයක් ඉතිරි කරගෙන ඊළඟ යල කන්නයත් මාර්තු 15 වැනිදා හෝ අප්‍රේල් මුල වනවිට ආරම්භ කළහොත් කන්න දෙකම කිසිදු ගැටලුවකින් තොරව සාර්ථක කරගත හැකි බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ජල කළමනාකරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ඉංජිනේරු නිලන්ත ධනපාල මහතා පවසයි. “අද දෙරණ BIG FOCUS” වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
මහවැලි පද්ධතියට අයත් ජලාශවල මේ වනවිට සියයට 54ක පමණ ජල ධාරිතාවක් පවතින අතර, එය සැලකිය යුතු මට්ටමක් බවත් වලව පද්ධතියේ ජල ධාරිතාව සියයට 57ක් පමණ වන බවත් ඔහු සංඛ්‍යා දත්ත උපුටා දක්වමින් පෙන්වා දුන්නේය. ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී වර්ෂාපතනය වැඩිවීමට ඉඩ ඇති නමුත්, දෙසැම්බර් සිට අප්‍රේල් දක්වා කාලය තුළ වියළි කලාපයට සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබෙන තත්ත්වයක් පවතින බවද අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
ඒ අනුව, පවතින ජල සම්පත් කාර්යක්ෂමව කළමනාකරණය කරමින් මහ කන්නය කලින් ආරම්භ කර, යල කන්නයද නියමිත කාලයට පෙර ආරම්භ කිරීම තුළින් කන්න දෙකම කිසිදු බාධාවකින් තොරව සාර්ථකව පවත්වාගෙන යා හැකි බව හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.
















