පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිළිබඳ කෝප් කමිටු සමාලෝචන රැස්වීම පසුගිය අගෝස්තු 05 වන දින පැවැති අවස්ථාවේදී සාකච්ඡාවට ලක්වූ බරපතලම ගැටළුවක් වූයේ, යුධ හමුදා වෛද්‍ය මණ්ඩලයක් මගින් රාජ්‍ය සේවයට යෝග්‍ය නොවන බවට තීරණය කර තිබූ පුද්ගලයෙකු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අධ්යක්ෂවරයා ලෙස බඳවාගෙන තිබීමයි. එහිදී අනුගමනය කර තිබෙන පටිපාටිය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවට කෝප් කමිටු සභාපතිවරයාගේ බරපතල විවේචනයට ලක් විය.
මෙයට පිළිතුරු දෙමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ටෙරන්ස් මධුජිත් ප්‍රකාශ කර සිටියේ, ජනාධිපතිවරයා තමන්ට විශ්වවිද්‍යාලය පවත්වාගෙන යාමට වගකීමක් භාරදී ඇති බැවින් ජනාධිපතිවරයා වෙනුවෙන් තමන් මෙම තීරණය ගත් බවයි. ජනාධිපතිවරයාගේ බලය ලැබී තිබෙන නිසා තමන්ට ඕනෑම දෙයක් කළ හැකි බවත්, වැරදි සිදුවුවහොත් ජනාධිපතිවරයා තමන්ව ආරක්ෂා කරනු ඇති බවත් උපකුලපතිවරයා ඉන් අඟවා තිබේ.
කෙසේ වෙතත්, අගෝස්තු 19 වන දින පැවැති රැස්වීම්වාරයේදී කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා ඊට දැඩි ලෙස ප්‍රතිචාර දක්වා ඇත.
කෝප් සභාපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරයාගේ බලය මත මෙම කටයුතු කරන බව ප්‍රකාශ කළද, වැරදි දේවල් කිරීමට ජනාධිපතිවරයා කිසිවිටෙකත් බලය ලබාදී නොමැති බවයි.
මෙම ප්‍රකාශය හමුවේ සභාවේ සිටි නිලධාරීන් අපහසුතාවයට පත් වූ නමුත්, උපකුලපතිවරයා ඊට කිසිදු පිළිතුරක් ලබා නොදී නිහඬව සිටි බව වාර්තා වේ.
















