අලි – මිනිස් ගැටුම වසර ගණනාවක් පුරා මෙරට පැවති අක්‍රමවත් සංවර්ධන ක්‍රියාවලීන්, අලි මංකඩ අවහිර වීම සහ දේශගුණික විපර්යාස හේතුවෙන් නිර්මාණය වූ බරපතළ සමාජීය හා ආර්ථික අර්බුදයක්ව පවතියි. මෙයට තාවකාලික පැලැස්තර විසඳුම් වෙනුවට ජනාධිපතිතුමාගේ සෘජු මගපෙන්වීම යටතේ පරිසර අමාත්‍යාංශය සහ අදාළ ආයතන එක්ව විද්‍යාත්මක පදනමකින් යුතු ස්ථිරසාර වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාවට නංවා තිබේ.
අලි මිනිස් ගැටුම උග්‍ර ප්‍රදේශවල රාජකාරී සිදු කරනු ලබන නිලධාරීන්ගේ සහ භෞතික සම්පත්වල හිඟතාව හේතුවෙන් මෙම ගැටුම කළමනාකරණය කිරීමේදී යම් යම් බාධා මතු වූ බව හඳුනාගෙන තිබිණි. ක්ෂේත්‍ර නිලධාරීන් මුහුණ දුන් මෙම මානව හා භෞතික සම්පත් හිඟයට පිළියමක් ලෙස, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉතිහාසයේ මෙතෙක් ලබා දුන් වැඩිම වාහන ප්‍රමාණය වන වාහන 294ක් නව රජය විසින් ලබා දී ඇත. ඩබල් කැබ් රථ 16 ක්, සිංගල් කැබ් රථ 84 ක්, යතුරුපැදි 181 ක් සහ ට්‍රැක්ටර් 9 ක් (අත් ටැක්ටර් 1ක් සහ කෲ කැබ් 3ක් ලබා දීමේ කටයුතුද මේ වන විට සිදු වෙමින් පවතී) මීට ඇතුළත් වේ.
මීට අමතරව අලි වැට සහායකයින් බඳවා ගැනීමෙන් සහ බහුකාර්ය සංවර්ධන නිලධාරීන් ස්ථිර කරමින් ආයතනයේ මානව සම්පතද ශක්තිමත් කර ඇති බව සඳහන් වේ. අලි – මිනිස් සහජීවනය ඇති කිරීම සඳහා අවශ්‍ය මූලික පදනම සහ රජයේ මැදිහත්වීම ඉටුකර ඇති අතර, මේ සඳහා ඉදිරියටත් කඩිනම් මැදිහත්වීම් සිදු කරනු ඇත.
















