සවුදි ආරාබියේ යාන්බු වරාය නගරයට බටහිරින් නාවික සැතපුම් 63 ක් ඔබ්බෙන් රතු මුහුදේ ගමන් කරමින් තිබූ වාණිජ තෙල් ප්රවාහන නෞකාවකට හඳුනා නොගත් ප්රහාරක වස්තුවක් පතිත වී ඇති බව එක්සත් රාජධානියේ නාවික වෙළඳ මෙහෙයුම් ආයතනය නිවේදනය කරයි.
එම ප්රහාරයෙන් නෞකාවේ ප්රධාන තට්ටුව මත ගිනිගැනීමක් හටගෙන ඇති අතර, නෞකාවේ කාර්ය මණ්ඩලය විසින් ගින්න පාලනය කිරීමට පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.
නෞකාවේ සිටි සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින් සුරක්ෂිතව පසුවන අතර, කිසිදු පාරිසරික හානියක් මෙතෙක් වාර්තා වී නොමැති බව UKMTO තහවුරු කරයි. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ බලධාරීන් පරීක්ෂණ පවත්වන අතර, එම කලාපයේ ගමන් ගන්නා නෞකාවලට දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස උපදෙස් දී ඇත.
















