ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපතිවරයා ලෙස විශ්‍රාමික කර්නල් රන්ජිත් රාජසිංහ මහතා 2026 අගෝස්තු 25 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පත්කර ඇත.
වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා විසින් මෙම පත්වීම සිදුකර ඇත්තේ, පරිපාලනමය ගැටලුවක් මුල් කරගනිමින් එවකට සභාපති ධූරය දැරූ සුනිල් ජයරත්න මහතා ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ තනතුර සඳහා ය. 2024 ජූලි මාසයේ සිට හමුදා මූලස්ථානයේ අභ්‍යන්තර විගණන අධ්යක්ෂ ලෙස කටයුතු කර ඇති රාජසිංහ මහතාගේ නම, 2025 දෙසැම්බර් මාසයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විගණකාධිපති තනතුර සඳහා ද යෝජනා කර තිබුණි.
කෙසේ වෙතත්, ඔහුගේ වෘත්තීය පළපුරුද්ද විගණකාධිපති තනතුරේ ව්‍යවස්ථාපිත වගකීම් දැරීමට ප්‍රමාණවත් නොවන බවට වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ ඇතුළු පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ල වූ අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී පැවැති ඡන්ද විමසීමේදී 5-4 ක් ලෙස එම යෝජනාව ප්‍රතික්ෂේප විය.
















