මැදපෙරදිග පැවති යුදමය තත්ත්වය හේතුවෙන් යම් කාලයකට ප්‍රමාද වූ නව දුම්රිය රේල් පීලි ඇණවුම ඊයේ (23) දින සාර්ථකව කොළඹ වරායට ළඟා වී ඇති අතර, මේ වන විට එම රේල් පීලි ගොඩබෑමේ කටයුතු අඛණ්ඩව සිදු කෙරෙමින් පවතී. දුම්රිය මගීන්ගේ පහසුව සහ ප්‍රවාහන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා මෙම පියවර ගෙන තිබේ.
ආනයනය කරන ලද නව දුම්රිය රේල් පීලි 10,000න් 5,000කට ආසන්න ප්‍රමාණයක් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දැනට වේග සීමා පනවා ඇති අවදානම් සහ අබලන් ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වෙන් කර ඇත. ඒ අනුව, කොළඹ කොටුව සිට පානදුර දක්වා හඳුනාගත් ස්ථාන 50කට ආසන්න ප්‍රමාණයක මෙම නව රේල් පීලි අතුරා මාර්ගය අලුත්වැඩියා කිරීමට නියමිතය.
මෙම සම්පූර්ණ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා මාස 6ක පමණ කාලයක් ගතවනු ඇති බවට දුම්රිය දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන අතර, මෙම රේල් පීලි තොගය මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 2,000ක පමණ දේශීය අරමුදල් ප්‍රමාණයක් සපයා ගෙන තිබේ. මීට සමගාමීව, දුම්රිය මාර්ගයට අදාළ පාලම් ඉදිකිරීමේ සහ පුනරුත්ථාපන කටයුතු සිදු කිරීමටද අවශ්‍ය මූලික පියවර මේ වන විට ගනිමින් පවතින අතර, මෙම සංවර්ධන කටයුතු අවසන් වීමත් සමඟ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දෛනිකව මගීන්ට මුහුණ දීමට සිදුවන දුම්රිය ප්‍රමාදයන් සහ අපහසුතා සැලකිය යුතු ලෙස අවම කර ගත හැකි වනු ඇත.
















