පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මූල්‍ය අක්‍රමිකතා සහ අපජල කළමනාකරණ ගැටලු රැසක් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) හමුවේ අනාවරණය වී තිබේ.
විශ්වවිද්‍යාලයේ 2023 සහ 2024 වර්ෂවලට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය සොයා බැලීම සඳහා COPE කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු හෙළි වී ඇත.
මෙහිදී අනාවරණය වූ ප්‍රධාන කරුණු අතර, විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරවල අපජලය නිසි පරිදි කළමනාකරණය නොවීම හේතුවෙන් මහනුවර නාගරික අපජල ව්‍යාපෘතියට එය සම්බන්ධ කිරීමේ ප්‍රමාදය නිසා මුල් ඇස්තමේන්තුව රුපියල් මිලියන 464 සිට බිලියන 1.4 දක්වා ඉහළ ගොස් ඇති අතර, JICA ආයතනය හරහා රුපියල් බිලියන 2ක ප්‍රතිපාදන ලබාගෙන ඇත.
තවද, විශ්වවිද්‍යාලය සතුව බැංකු ගිණුම් 68ක් සහ විවිධ අරමුදල්වලට අදාළ ගිණුම් විශාල සංඛ්‍යාවක් පැවතීම සහ අවසන් වූ ව්‍යාපෘතිවල ගිණුම් වසා නොදැමීම පිළිබඳවද අවධානය යොමුව තිබේ.
පර්යේෂණ කළමනාකරණ කමිටු අනුමැතියකින් සහ වාර්තා ලබාගැනීමකින් තොරව අනධ්‍යයන හා විධායක කාර්ය මණ්ඩලයේ 59 දෙනෙකුට පර්යේෂණ දීමනා ගෙවා ඇති අතර, ඉන් 28 දෙනෙකු 2023 ජුනි 30 වන විටත් අදාළ වාර්තා ඉදිරිපත් කර නොතිබුණි.
රාජ්‍ය මූල්‍ය රෙගුලාසිවලට අනුකූල නොවන එවැනි සියලු ගෙවීම් නීත්‍යානුකූලව නිරවුල් කිරීමට පියවර ගන්නා ලෙසත්, ඉදිරි සංවර්ධන සැලසුම් කඩිනම් කරන ලෙසත් කමිටුව විසින් මෙහිදී උපදෙස් ලබා දී ඇත.
















