ඉන්ධන මිල ඉහළ යාම, රජයේ සහනාධාර සහ මිල අඩු විදුලි වාහන (EV) වෙළඳපොළට පැමිණීමත් සමඟ පසුගිය ජූලි මාසයේදී යුරෝපයේ බොහෝ ප්‍රදේශවල විදුලි වාහන අලෙවිය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව රොයිටර් (Reuters) පුවත් සේවය වාර්තා කරයි.
පෙබරවාරි මස ආරම්භ වූ ඉරාන යුද්ධය හේතුවෙන් ඉන්ධන මිලෙහි ඇති වූ උච්චාවචනයන්ගෙන් ආරක්ෂා වීම සඳහා පාරිභෝගිකයින් වැඩිවශයෙන් විදුලි වාහන වෙත යොමුවෙමින් පවතින බව ‘Renault’ එක්සත් රාජධානියේ කළමනාකාර අධ්‍යක්ෂ ඇඩම් වුඩ් (Adam Wood) පෙන්වා දෙයි. වසර දෙකකට පෙර බ්‍රිතාන්‍යයේ Renault අලෙවියෙන් 10%ක්ව පැවැති EV අලෙවිය මේ වන විට 50% ඉක්මවා ඇති අතර, ‘Renault 5’ මෝටර් රථය බ්‍රිතාන්‍යයේ වැඩියෙන්ම අලෙවි වූ EV රථය බවට පත්ව තිබේ. මීට අමතරව ඉදිරියේදී පවුම් 20,000කට අඩු මිලකට ‘Twingo’ EV රථය ද වෙළඳපොළට හඳුන්වා දීමට නියමිතය.
සංඛ්‍යාන දත්තවලට අනුව මේ වසරේ මුල් භාගයේදී යුරෝපා සංගමයේ විදුලි වාහන අලෙවිය 40.5%කින් ඉහළ ගොස් ඇති අතර, එය සමස්ත වාහන අලෙවියෙන් 20.7%කි. ජූලි මාසයේදී යුරෝපීය වෙළඳපොළවල් කිහිපයක සමස්ත නව මෝටර් රථ අලෙවියෙන් 25.7%ක්ම විදුලි වාහන වීම විශේෂත්වයකි.
















