ඉරානය සමඟ පවතින යුදමය තත්ත්වය (War in Iran) හමුවේ ඇමෙරිකානු ආරක්ෂක බලකායන්ගේ පවතින සෙබළ හිඟතාවය සහ කාර්යබහුලත්වය හේතුවෙන්, ලබන මාසයේදී දකුණු කොරියාව සමඟ පැවැත්වීමට නියමිතව තිබූ “Ssangyong” (සැංයොං) දැවැන්ත හවුල් නාවික හා ගොඩබිම් ප්‍රහාරක අභ්‍යාසය (Joint Amphibious Landing Drill) අවලංගු කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය පියවර ගෙන තිබේ.
දකුණු කොරියානු නාවික හමුදා ප්‍රකාශකයෙකු සෙවුල් නුවරදී මාධ්‍ය වෙත පවසා ඇත්තේ, මෙම හමුදා අභ්‍යාසය සඳහා ඇමෙරිකානු බලකායන් ලබාදීමට පවතින අපහසුතාව පිළිබඳව ඇමෙරිකානු පාර්ශ්වය ජූනි මාසයේදීම දැනුම් දුන් බවයි. ඉරාන යුද්ධයට සහාය දැක්වීම දකුණු කොරියාව ප්‍රතික්ෂේප කිරීම සහ හමුදා අභ්‍යාස සඳහා යන අධික පිරිවැය මුල් කරගනිමින්, පසුගිය සතියේ නිමාවට පත් වූ “Ulchi Freedom Shield” වාර්ෂික හවුල් හමුදා අභ්‍යාසය ද සීමා කිරීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබිණි. කෙසේ වෙතත්, ඉදිරියේදී දෙරට අතර ආරක්ෂක සබඳතා පවත්වාගෙන යාම පිළිබඳව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ (Marco Rubio) සහ දකුණු කොරියානු විදේශ අමාත්‍ය චෝ හ්යුන් (Cho Hyun) අතර ද සාකච්ඡාවක් පවත්වා ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















