පර්යේෂණ කළමනාකරණ කමිටුවේ අනුමැතියකින් තොරව සහ පර්යේෂණ වාර්තා ලබා ගැනීමකින් තොරව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන හා විධායක කාර්ය මණ්ඩලයේ නිලධාරීන් 59 දෙනෙකුට පර්යේෂණ දීමනා ගෙවා ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප් කමිටුව) අනාවරණය වී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති මෙම කමිටු රැස්වීමේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 2023 සහ 2024 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සලකා බැලුණු අතර, දීමනා ලබාගත් නිලධාරීන් අතරින් 28 දෙනෙකු 2023 ජූනි 30 වන විටත් අදාළ පර්යේෂණ වාර්තා ඉදිරිපත් කර නොතිබූ බව හෙළි විය. පර්යේෂණ කටයුතු දිරිමත් කළ යුතු වුවද, පර්යේෂණ දීමනා අමතර වැටුපක් ලෙස භාවිත කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව කමිටුව පෙන්වා දුන්නේය. මීට අමතරව, විශ්වවිද්‍යාලයේ අපජල පද්ධතිය මහනුවර නාගරික අපජල ව්‍යාපෘතියට සම්බන්ධ කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රමාදය හේතුවෙන් එහි ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 464 සිට රුපියල් බිලියන 1.4 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, බැංකු ගිණුම් 68 ක් සහ විවිධ අරමුදල් පවත්වාගෙන යාම සම්බන්ධයෙන්ද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
















