ශ්‍රී ලංකාවේ අක්වෙරළ තෙල් සහ ස්වභාවික ගෑස් ගවේෂණය සඳහා වන නව බලපත්‍ර ප්‍රදාන වටයක් අද (අගෝස්තු 25) දින ආරම්භ කිරීමට නියමිත බව ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය (PDASL) නිවේදනය කර තිබේ.
ජාත්‍යන්තර බලශක්ති සමාගම් මෙරට පෙට්‍රෝලියම් සම්පත් ගවේෂණය සහ සංවර්ධනය සඳහා ආකර්ෂණය කරගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත. බටහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල ස්වභාවික ගෑස් තැන්පතු පවතින බව මීට පෙර සිදු කළ ගවේෂණ මගින් තහවුරු වී ඇති අතර, මෙම සම්පත් සංවර්ධනය කිරීම හරහා මෙරට බලශක්ති ආරක්ෂාව තවදුරටත් තහවුරු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මන්නාරම් ද්‍රෝණියේ කොටස් හතරක් සඳහා ගවේෂණ සහ නිෂ්පාදන ආයෝජන යෝජනා මෙහිදී අපේක්ෂා කරන අතර, ඊට අදාළ වැඩිදුර තොරතුරු අනාවරණය කිරීම සඳහා අද දිනයේ මාධ්‍ය හමුවක්ද කැඳවා ඇත.














