ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ නව සභාපතිවරයා ලෙස රංජිත් රාජසිංහ මහතා අද (25) සිවිල් ගුවන්සේවා අධිකාරියේ පරිශ්‍රයේදී සිය ධුරයේ වැඩ භාර ගත්තේය. මෙම අවස්ථාව සඳහා අමාත්‍යාංශ ලේකම් ඩබ්. ඩබ්. එස්. මංගල, සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් දමින්ද රබුක්වැල්ල, ගුවන්තොටුපළ සහ ගුවන්සේවා සමාගමේ අධ්‍යක්ෂ ප්‍රිමාල් ද සිල්වා යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
වසර 27කට අධික වෘත්තීය පළපුරුද්දක් සහිත වරලත් ගණකාධිකාරීවරයකු වන රාජසිංහ මහතා, අභ්‍යන්තර විගණනය, රාජ්‍ය අංශයේ පාලනය, ආයතනික මූල්‍ය කළමනාකරණය සහ අවදානම් කළමනාකරණය යන ක්ෂේත්‍රවල පුළුල් විශේෂඥ දැනුමකින් සමන්විත වේ. මීට පෙර ඔහු ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ (ලක්සල) මූල්‍ය අධ්‍යක්ෂවරයා ලෙස මෙන්ම, ශ්‍රී ලංකා යුද හමුදාවේ වසර 20කට අධික කාලයක් ජ්‍යෙෂ්ඨ හමුදා හා මූල්‍ය පාලන තනතුරු රැසක් හොබවා ඇත. එමෙන්ම ඒ මහතා රාජ්‍ය මූල්‍ය රෙගුලාසි, රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතීන් සහ ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුකූලතාව තහවුරු කිරීම පිළිබඳ විශේෂඥතාවක් ද දරයි.
රාජසිංහ මහතාගේ දීර්ඝ වෘත්තීය පළපුරුද්ද සහ මූල්‍ය හා පරිපාලන ක්ෂේත්‍රයන්හි විශේෂඥතාව මතුවට ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ නියාමන කාර්යභාරය, ආයතනික පරිපාලනය සහ මූල්‍ය අඛණ්ඩතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ඉවහල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව එතුමාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන්සේවා ක්ෂේත්‍රයේ ආරක්ෂාව, නියාමනය සහ සංවර්ධනය තවදුරටත් ඉදිරියට යනු ඇතැයි රජය බලාපොරොත්තු වේ.














