මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් සහ ස්වභාවික ගෑස් ගවේෂණය කිරීම සඳහා වන නව බලපත්‍ර පිරිනැමීමේ නිල වටය ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය විසින් අද (25) පෙරවරුවේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ප්‍රධාන කාර්යාලයේදී ආරම්භ කරනු ලැබීය. බලශක්ති සහ ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක සහ කම්කරු අමාත්‍ය මෙන්ම මුදල් ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී, වර්ග කිලෝමීටර් 34,000කට ආසන්න විශාල ප්‍රදේශයක් ආවරණය වන පරිදි මන්නාරම් ද්‍රෝණියේ බිම් කොටස් හතරක් ජාත්‍යන්තර බලශක්ති සමාගම් වෙත ගවේෂණ කටයුතු සඳහා පිරිනැමීමට නියමිතය. රටේ ආර්ථික අනාගතයට සුවිශේෂී බලපෑමක් එල්ල කළ හැකි මෙම තීරණාත්මක පියවර හරහා දේශීය බලශක්ති ක්ෂේත්රයේ නව පරිවර්තනයකට මුලපිරී ඇත.
මීට ඉහත සිදු කරන ලද මූලික ගවේෂණවලදී ස්වභාවික වායු සහ ද්‍රව හමුවීම තුළින් මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් සහ ස්වභාවික ගෑස් නිධි පවතින බවට තහවුරු වී තිබුණද, මෙතෙක් පුළුල් ලෙස මෙම කලාපය ආවරණය කරමින් ගවේෂණ සිදු කර නොමැත. නවීන භූ ගවේෂණ හා උසස් තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ දත්ත එකතු කිරීමට ජාත්‍යන්තර සමාගම් වෙත මෙහිදී පුළුල් අවස්ථාව උදා වන අතර, දැනට අධිකාරිය සතු භූ විද්‍යාත්මක දත්ත පරිශීලනයට ද ඔවුන්ට පහසුකම් සලසා දී ඇත. පවතින දත්තවලට අනුව මෙම ද්‍රෝණිය තුළ තෙල් බැරල් බිලියන 2ක් සහ ගෑස් ඝන අඩි ට්‍රිලියන 09ක ප්‍රමාණයක් කැණීම් මඟින් ලබා ගැනීමට හැකි වෙතැයි පුරෝකථනය කර තිබීම ජාතික මට්ටමින් දැඩි අවධානයට ලක්ව තිබේ.
මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම හරහා මෙරට බලශක්ති අර්බුදයට ස්ථිරසාර විසඳුම් ලබා ගැනීමටත්, ජාතික ආර්ථිකයට දැවැන්ත ශක්තියක් එක් කිරීමටත් රජය අපේක්ෂා කරයි. ජාත්‍යන්තර මට්ටමේ ආයෝජකයන් ආකර්ෂණය කරගනිමින් විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක වන මෙම ගවේෂණ ක්‍රියාවලිය ඉදිරි කාලය තුළ රටේ මූල්‍ය හා කාර්මික අංශවල ප්‍රධාන හැරවුම් ලක්ෂයක් වනු නිසැීය. දේශීය බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙම ජාතික මෙහෙයුමේ ප්‍රගතිය පිළිබඳව ව්‍යාපාරික හා ආර්ථික විශ්ලේෂකයන් දැඩි විමසිල්ලෙන් පසුවෙයි.
















