අනුරාධපුර ජයසිරිපුර ප්‍රදේශයේදී වයස අවුරුදු 11ක පිරිමි දරුවකුට අතින්, පයින් සහ කෝටුවකින් පහරදී, සුනඛයකු උසිගන්වා සපා කෑමට ලක්කර මිනීමැරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක සහ පාසල් සිසුවකු අනුරාධපුර මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර ජයසිරිපුර ප්‍රදේශයේම පදිංචි 67 හැවිරිදි කාන්තාවක් සහ 15 හැවිරිදි පාසල් සිසුවෙකි. පහරකෑමට ලක් වූ 11 හැවිරිදි දරුවා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් මෙම විමර්ශන ආරම්භ කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රධාන සැකකාරිය වන 67 හැවිරිදි කාන්තාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර, මෙම අපරාධයට ආධාර අනුබල දීමේ වරදට අත්අඩංගුවට ගත් 15 හැවිරිදි පාසල් සිසුවා ඇප මත මවට භාරදී ඇති බව පොලිසිය සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
















