ජාතීන් අතර සැබෑ මිත්‍රත්වය ප්රකාශනවලට හා වචනවලට පමණක් සීමා නොකර ක්‍රියාත්මක මට්ටමින් තහවුරු කළ යුතු බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පෙන්වා දෙයි. යුද සමයේ සෙන්චෝලේ ඛේදවාචකයට මුහුණ දුන් පුද්ගලයින් සහ අතුරුදහන් වූ පවුල් වෙනුවෙන් රජයේ නිවාස ආධාර සහ ඉඩම් හිමිකම් පත්‍ර ප්රදානය කිරීමේ අවස්ථාවට කිලිනොච්චිය පරන්තන් නගරයේදී එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් අනාවරණය කළේය. උතුර හා දකුණ අතර පැවති සාම්ප්‍රදායික භේද දුරු කරමින් ජනතාවගේ ජීවිත නඟාසිටුවීමට වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළේ තවත් සුවිශේෂී පියවරක් ලෙස මෙම සහන ලබා දීම සිදු විය.
දිට්වා හදිසි ආපදා තත්වයන්ට මුහුණ දුන් පවුල් සඳහා නිවාස ඉදි කර ගැනීමට අදාළව ප්‍රමුඛතාවය ලබා දෙමින්, සෙන්චෝලේ සිද්ධියට මුහුණ දුන් පවුල් 18 කට සහ අතුරුදහන් වූ පවුල් 3 ක් සඳහා අක්කර භාගයක ඉඩම් සහ රුපියල් ලක්ෂ 50 ක මූල්‍ය ප්‍රතිපාදන මෙහිදී හිමි විය. යුද්ධයේදී විනාශ වූ භෞතික සම්පත් යළි ගොඩනැඟීමට වඩා යුද්ධය නිසා බිඳී ගිය සිත් සුවපත් කිරීම සහ ජනතාවගේ ජීවන තත්වය නඟාසිටුවීම රජයේ ප්රමුඛ අපේක්ෂාව බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. අතුරුදහන් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් පැමිණිලි විමර්ශනය කරමින් නීත්‍යානුකූල සාධාරණත්වය ඉටු කිරීමට රජය නිරන්තරයෙන් පෙනී සිටින බවද හෙතෙම සඳහන් කළේය.
මෙම නිවාස ආධාරලාභීන්ට අක්කර භාගයක ඉඩමෙහි ආර්ථික අස්වැන්න නෙළා ගැනීම සඳහා පොල් පැල බෙදා දීම සංකේතාත්මකව සිදු වූ අතර, උතුරේ ජනතාවගේ අයිතිවාසිකම් සහ සුබසාධනය වෙනුවෙන් ඉදිරියටත් රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත්ව ක්‍රියාත්මක වනු ඇත. යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඉලන්කුමරන් සහ කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් එස්. මුරලිදරන් යන මහත්වරුන්ගේ ද සහභාගීත්වයෙන් සිදු වූ මෙම වැඩසටහන හරහා ජාතික සංහිඳියාවේ නව මානයක් කරා රට යොමු වීම ජනතා අපේක්ෂාව වී තිබේ.
















