මොරොක්කෝවේ ටැන්ජියර් (Tangier) නුවර සිට එක්සත් රාජධානියේ ගැට්වික් (Gatwick) ගුවන්තොටුපොළ වෙත පැමිණි එයාර් අරාබියා (Air Arabia) ගුවන් යානයක රෝද පද්ධතිය (Landing gear compartment) තුළ තිබී හමුවූ හඳුනානොගත් පුද්ගල මළසිරුර පිළිබඳ මරණ පරීක්ෂණයේදී මරණයට හේතුව අනාවරණය වී තිබේ.
අඟහරුවාදා (25) හෝෂම් කෝරනර් අධිකරණයේදී (Horsham Coroner’s Court) පැවැති මරණ පරීක්ෂණයේදී කොරොනර් ජෝසෆ් ටර්නර් මහතා සඳහන් කළේ, අධික ශීතල (Hypothermia) සහ ඔක්සිජන් මට්ටම දැඩි ලෙස පහත වැටීම (Hypoxia) හේතුවෙන් හෘදයාබාධයක් හටගැනීම මෙම මරණයට හේතුවී ඇති බවයි. ගුවන් යානය ගොඩබැස්සවීමෙන් පසු සිදුකළ නිරීක්ෂණවලදී බිම් ඉංජිනේරුවරයෙකු විසින් මෙම මළසිරුර සොයාගෙන ඇති අතර, අදාළ පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත. වැඩිදුර විමර්ශන සඳහා මරණ පරීක්ෂණය 2027 පෙබරවාරි 24 වනදා දක්වා කල් තබන ලදී.
















