අධිකරණ සංවිධාන පනත හා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එනු ලබන්නේ සමස්ත අධිකරණ පද්ධතිය පුළුල් ප්‍රතිසංස්කරණයකට ලක් කිරීමේ ගමනේ එක් පියවරක් වශයෙන් යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කර තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධිකරණයට පෙත්සම් ඉදිරිපත් වී ඇති අතර, ඒ පිළිබඳව සියල්ල සලකා බලා පාර්ලිමේන්තුවේදී විවාදයක් පවත්වන බව ඔහු පැවසීය. මුළුමහත් අධිකරණ පද්ධතියම ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් අමාත්‍යවරයා, විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීම කිසිවකු ඉලක්ක කරගෙන සිදු කරන්නක් නොවන බවත්, එය නීතිමය ක්‍රියාවලියක් හරහා නියමිත පරිදි සිදු වන්නක් බවත් වැඩිදුරටත් අවධාරණය කළේය.














