ශ්‍රී ලංකාව සහ සවුදි අරාබියේ අසීර් (Aseer) කලාපය අතර ආර්ථික සහ වාණිජ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. සවුදි අරාබි රාජධානියේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා සහ අභා (Abha) වාණිජ මණ්ඩලයේ මහ ලේකම් ආචාර්ය මිස්ෆර් ඒ. අල්-වඩායි (Dr. Misfer A. Al-Wadai) මහතා අතර මෙම සාකච්ඡාව සිදුව ඇත.
සවුදි-ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය පිළිබඳව මහ ලේකම්වරයා දැනුවත් කර ඇති තානාපතිවරයා, අසීර් කලාපයේ සංචාරක කර්මාන්තයේ සිදුවන ශීඝ්‍ර සංවර්ධනය සැලකිල්ලට ගෙන සංචාරක, ආගන්තුක සත්කාර, කාර්මික සහ මානව සම්පත් යන ක්ෂේත්‍රවල දෙරටේ පෞද්ගලික අංශය අතර සහයෝගිතාව වර්ධනය කර ගැනීමේ වැදගත්කම පෙන්වා දී තිබේ. මීට අමතරව, 2026 ඔක්තෝබර් මාසයේ කොළඹදී පැවැත්වෙන ‘ශ්‍රී ලංකා ආයෝජන සංසදය’ සහ 2027 ජනවාරි මාසයේ පැවැත්වෙන ‘ශ්‍රී ලංකා එක්ස්පෝ 2027’ ප්‍රදර්ශනය සඳහා සහභාගි වන ලෙස අසීර් ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනා කර ඇති අතර, දක්ෂ හා අර්ධ දක්ෂ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සවුදි අරාබියේ සේවා ක්ෂේත්‍ර සඳහා බඳවා ගැනීමේ අවස්ථා සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුව ඇත.














