වී අලෙවි මණ්ඩලය විසින් මේ වන විට අපේක්ෂිත ඉලක්කය ඉක්මවා යමින් වී මෙට්‍රික් ටොන් 45,362ක් මිල දී ගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කර තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙහිදී වී මෙට්‍රික් ටොන් 39,500ක් මිලට ගැනීම සඳහා මධ්‍යස්ථාන 143ක් පිහිටුවා තිබූ නමුත්, එම ඉලක්කය ඉක්මවා ගොස් ඇති අතර ඒ සඳහා රජය රුපියල් මිලියන 5,471ක් වැය කර ඇත. මීට අමතරව, වී මිලට ගැනීම සඳහා රුපියල් බිලියන 6ක් වෙන් කර ඇති බවත්, දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට පියවර ගෙන ඇති බවත් වැඩිදුරටත් අනාවරණය විය.














