භූමි හායනය නිෂේධනය (Land Degradation Neutrality), තිරසාර භූමි කළමනාකරණය සහ නියඟයට ඔරොත්තුදීමේ හැකියාව ජනතා කේන්ද්‍රීය හා සහයෝගී ප්‍රවේශයක් ඔස්සේ ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කාන්තාරකරණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියේ (UNCCD) 17 වන පාර්ශ්වකරුවන්ගේ මහා සම්මේලනයට (COP17) සමගාමීව මොන්ගෝලියාවේ උලාන්බාටාර් නගරයේදී ඊයේ (25) පැවති “ජලය සහ නියඟයට ඔරොත්තුදීමේ හැකියාව” පිළිබඳ ඉහළ පෙළේ අමාත්‍ය සංවාදයට සහභාගී වෙමිනි. ජල සුරක්ෂිතතාව යනු සෞඛ්‍ය සම්පන්න භූමි හා ඔරොත්තු දෙන පරිසර පද්ධති මත රඳා පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, භූමිය, ජලය, දේශගුණය සහ ජෛව විවිධත්වය ඒකාබද්ධව කළමනාකරණය කිරීම සඳහා ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන වැඩසටහන් පිළිබඳව ද අවධානය යොමු කළේය.
සාම්ප්‍රදායික වැව්-ගම්මාන හා එල්ලංගා පද්ධති ප්‍රතිසංස්කරණය, වනාන්තර සංරක්ෂණය සඳහා ක්‍රියාත්මක “වනස්පති” ජාතික වැඩසටහන මෙන්ම තෙත්බිම් ඇතුළු වැදගත් පරිසර පද්ධති සංරක්ෂණය කිරීම සම්බන්ධයෙන් ඔහු විශේෂයෙන් සඳහන් කළේය. නියඟය අර්බුදයක් බවට පත්වීමට පෙර ඔරොත්තුදීමේ හැකියාව ගොඩනැගීම සඳහා දේශගුණික තොරතුරු, පූර්ව අනතුරු ඇඟවීම්, නව තාක්ෂණය සහ ධාරිතා සංවර්ධනය මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ප්‍රමාණවත් මූල්‍ය පහසුකම් සැපයීම සම්බන්ධයෙන් වැඩි ජාත්‍යන්තර සහයෝගීතාවක් අවශ්‍ය බව ද ශ්‍රී ලංකාව මෙහිදී අවධාරණය කළේය.
“Restoring Land. Restoring Hope.” යන තේමාව යටතේ අගෝස්තු 17 සිට 28 දක්වා පැවැත්වෙන මෙම UNCCD COP17 සමුළුව හරහා කාන්තාරකරණය, භූමි හායනය සහ නියඟය වැනි ගෝලීය අභියෝග සඳහා තිරසාර විසඳුම් සෙවීම සහ ජාත්‍යන්තර ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරේ.














