මෙරට ජනගහනයෙන් සියයට 52ක ප්‍රතිශතයක් කාන්තාවන් නියෝජනය කළද, ජාතික ආර්ථිකයට සහ ශ්‍රම බළකායට ඔවුන්ගෙන් ලැබෙන දායකත්වය ඉතා පහළ මට්ටමක පවතින බව කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ (WCIC) සභාපතිනී ගයානි ද අල්විස් මහත්මිය පවසයි. “WCIC ප්‍රතිභාභිෂේක 2026″ කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙල වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවකදී ඇය මේ බව සඳහන් කළාය.
රට තුළ කාන්තා ව්‍යවසායකත්වය තවදුරටත් ප්‍රචලිත කිරීම සඳහා කාන්තාවන් තුළ ව්‍යවසායකත්වය පිළිබඳ මානසිකත්වය සහ උනන්දුව වර්ධනය කිරීම කාලීන අවශ්‍යතාවක් බව ද අල්විස් මහත්මිය අවධාරණය කළාය. ලංකාවේ ව්‍යාපාරවලින් සියයට 90ක්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වන අතර, ඒ අතරින් සියයට 25කටත් වඩා අඩු ප්‍රමාණයක්ම කාන්තාවන් විසින් පවත්වාගෙන යනු ලබයි. මීට අමතරව, අවිධිමත් ආකාරයෙන් පවත්වාගෙන යන කාන්තා ව්‍යාපාර අතිවිශාල සංඛ්‍යාවක් පවතින බවත්, එම ව්‍යාපාර නිසි ලෙස පවත්වාගෙන යාමට සහයෝගය ලබා දී ඒවා දියුණු කළ යුතු බවත් ඇය පෙන්වා දුන්නාය. කාන්තාවන් විසින් ආරම්භ කර කාන්තාවන් විසින්ම පවත්වාගෙන යන ව්‍යාපාර ඇගයීම සහ අභිප්‍රේරණය කිරීම අරමුණු කරගනිමින් මෙම වාර්ෂික සම්මාන උළෙල ක්‍රියාත්මක වේ.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 2026 පළමු කාර්තුවට අදාළ ශ්‍රම බළකා සමීක්ෂණ වාර්තාවට අනුව, සියයට 49.2ක් වන සමස්ත ශ්‍රම බළකා දායකත්වයෙන් පුරුෂයන් නියෝජනය කරන්නේ සියයට 69.1ක් වන අතර කාන්තා දායකත්වය සටහන් වන්නේ සියයට 32.5ක් ලෙසිනි. එසේම සියයට 3.7ක් වන සමස්ත විරැකියා අනුපාතය තුළ පුරුෂයන් සියයට 2.4ක් වන විට කාන්තා විරැකියා අනුපාතය සියයට 6.1ක අගයක් ගනී. මෙරට සමස්ත ව්‍යවසායකත්වය සියයට 10කටත් වඩා අඩු අගයක් ගන්නා බව දත්ත පෙන්වා දෙයි.
රැකියා නියුක්තික කාන්තාවන්ගෙන් සියයට 43.2ක් පෞද්ගලික අංශයේ ද, සියයට 23.4ක් තමන්ගේම ස්වයං රැකියාවල ද, සියයට 21.7ක් රාජ්‍ය අංශයේ ද සේවය කරන අතර, සියයට 10.4ක් වැටුපක් නොලබා නිවසේ සේවය කරන අතරතුර සියයට 1.3ක් සේවායෝජකයකු ලෙස කටයුතු කරයි. මූල්‍යමය පහසුකම් ලබා ගැනීම, වෙළෙඳපොළ සොයා ගැනීම, දැනුම හා දත්ත සඳහා ප්‍රවේශ වීම වැනි බොහෝ බාධාවන්ට කාන්තා ව්‍යවසායකයන් මුහුණ දෙන බව පෙන්වා දුන් ඇය, ආසියානු කලාපයේ කාන්තාවන්ට තමන්ගේම ව්‍යාපාරයක් සාර්ථකව පවත්වාගෙන යාමට පිරිමින්ට වඩා 2.75 ගුණයකින් වැඩි වැඩ කිරීමට සිදුව ඇති බවද ප්‍රකාශ කළාය. කාන්තාවන් සඳහා පවතින අවස්ථා තවදුරටත් පුළුල් කරමින් දළ ජාතික නිෂ්පාදිතය වෙත ඔවුන්ගේ දායකත්වය ඉහළ නංවා ගැනීම වත්මන් පරිපාලනයේ ප්‍රධාන අපේක්ෂාව වී ඇත.
















