ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සහ චීනයේ ඉරාන තනාපති අබ්දොල්රේසා රහ්මානි ෆස්ලි අතර ටෙහෙරානය සහ බීජිං අතර උපායමාර්ගික සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව Tasnim News පුවත් සේවය වාර්තා කරයි.
දෙරට අතර අත්සන් කර ඇති වසර 25 ක විස්තීරණ සහයෝගිතා වැඩසටහන යටතේ පවතින ව්‍යාපෘති සහ ගිවිසුම් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස විදේශ අමාත්‍ය අරග්චි මෙහිදී ඉල්ලා සිටි අතර, කලාපීය සහ ජාත්‍යන්තර ප්‍රවණතා පිළිබඳව වඩාත් සමීප රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධීකරණයකින් කටයුතු කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කළේය.
ඉරානය සමඟ ආර්ථික සහ වෙළඳ සබඳතා පවත්වන රටවලට එරෙහිව ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ප්‍රකාශයට පත්කර ඇති “Economic D-Day” දැවැන්ත ආර්ථික සම්බාධක හා පීඩන ව්‍යාපාරය හමුවේ මෙම හමුව සිදුවීම විශේෂත්වයකි. කෙසේ වෙතත්, ඇමරිකාවේ මෙම තර්ජනාත්මක සම්බාධක ව්‍යාපාරය ගණනකට නොගෙන ඉරානය සමඟ පවතින ආර්ථික හා බලශක්ති සබඳතා පෙර පරිදිම පවත්වාගෙන යන බවට චීනය විසින් රාජ්‍යතාන්ත්‍රික සංඥා නිකුත් කර තිබේ.
















