දිට්වා ආපදාව හේතුවෙන් දැඩි ලෙස හානියට පත් කොට්ටුකච්චිය ගොවි ව්‍යාපාරයට අයත් කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) ආරම්භ කෙරිණි. රුපියල් මිලියන 200ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, වර්තමානයේ කෘෂිකර්ම ක්ෂේත්රය අභියෝග රැසකට මුහුණ දී ඇති බවත්, ගොවි ජනතාවගේ නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් ලබාදීම මෙන්ම රටේ ගොවි ජනතාව මුහුණ දෙන දුප්පත්කම තුරන් කිරීම අමාත්‍යාංශයේ ප්‍රධාන වගකීමක් වන බවත්ය. වී අස්වැන්න සඳහා සාධාරණ මිලක් සහතික කිරීම පිණිස රජයේ ගබඩාවලට අමතරව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සම්බන්ධ කර ගනිමින් රාජ්‍ය භාණ්ඩාගාරය හරහා එක් අයෙකුට රුපියල් කෝටි දෙකහමාර බැගින් පොළී රහිත ණය පහසුකම් ලබාදීමට කටයුතු කරන බව හෙතෙම පැවසීය. මීට අමතරව තෙත වී ගැටලුවට විසඳුම් ලබාදීමට නව තාක්ෂණය හඳුන්වාදීමටත්, ගොවීන් තනි වගාවකට පමණක් සීමා නොවී පශු සම්පත් ක්ෂේත්රය හරහා ආදායම් මාර්ග විවිධාංගීකරණය කර ගැනීමටත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
සත්ව ආහාර සඳහා වන බඩඉරිඟු හිඟයට පිළියමක් ලෙස සහල් ආශ්රිත විකල්ප භාවිත කිරීමට සහ සහල්වලින් විවිධ නිෂ්පාදන සිදු කරමින් වී ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශවලට අනුව අස්වැන්න ඉහළ නංවා ගැනීමට ගොවීන් කටයුතු කළ යුතු බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. මෙම අවස්ථාවට අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා ඇතුළු දේශපාලන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.














