රාජකාරී වේලාවන් තුළ සමාජ මාධ්‍ය භාවිතය සහ දුම්රිය මෙහෙයුම් කටයුතුවල සංවේදී තොරතුරු සමාජගත වීම වැළැක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් සහ සේවකයින් විසින් රාජකාරී වේලාවන් තුළ සහ රාජකාරියට සම්බන්ධ අවස්ථාවන්හිදී සමාජ මාධ්‍ය හරහා සංවේදී තොරතුරු ප්‍රසිද්ධියට පත්කිරීමේ ප්‍රවණතාවක් නිරීක්ෂණය වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත. එලෙස සංවේදී තොරතුරු සමාජ මාධ්‍ය මඟින් ප්‍රසිද්ධියට පත් කිරීම තුළින් දුම්රිය සේවයේ විශ්වසනීයත්වය, මගී ආරක්ෂාව සහ ආයතනික විනය බරපතළ ලෙස අනතුරේ වැටෙන හෙයින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බව සඳහන්ය.
නව චක්‍රලේඛය යටතේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට, දුම්රිය නිල මාධ්‍ය ප්‍රකාශකවරයාට සහ තොරතුරු නිලධාරියාට පමණක් දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල තොරතුරු බාහිර පාර්ශ්වයන් වෙත හෝ මාධ්‍ය වෙත ලබාදීමේ අවසරය හිමිවී තිබේ. මීට අමතරව, මෙම උපදෙස් උල්ලංඝනය කරමින් කටයුතු කරන නිලධාරීන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති අදාළ චක්‍රලේඛයේ වැඩිදුරටත් දැක්වේ.















