මෙරට මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය පිටුපස අතීතයේදී දේශපාලන අධිකාරිය සෘජුවම සම්බන්ධ වී සිටි බවත්, වත්මන් රජය යටතේ එම දේශපාලන මැදිහත්වීම සම්පූර්ණයෙන්ම නතර කර ඇති බවත් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ආරම්භ කර ඇති ජාතික මෙහෙයුම යටතේ, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලය මැඩලීම සඳහා දැඩි පියවර ගනිමින් සිටින බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. විශේෂයෙන්ම නේපාලය, ඉන්දුනීසියාව, පකිස්ථානය සහ ඉන්දියාව වැනි රටවල රැඳී සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් රතු වරෙන්තු විශාල ප්‍රමාණයක් නිකුත් කර ඇති බවද ඔහු පැවසීය.
එම රතු වරෙන්තු නිකුත් කරන ලද පුද්ගලයන්ගෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් මේ වන විටත් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති බවත්, ඉදිරියේදී සෙසු ජාවාරම්කරුවන්ද නීතිය හමුවට පමුණුවන බවත් වටගල මහතා සඳහන් කළේය. අතීතයේදී මත්ද්‍රව්‍ය මර්දනය කරන බව පැවසුවද, එහි සැපයුම් ජාලය පිටුපස සිටි දේශපාලනඥයන් නිසා එම මෙහෙයුම් සාර්ථක නොවූ බවත්, වර්තමානයේ කිසිදු දේශපාලන භේදයකින් තොරව නීතිය ක්‍රියාත්මක වන බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.














