නේපාලයේ චීන සහ ටිබෙට් දේශසීමා ආසන්නයේ පිහිටි රසුවා ප්‍රදේශයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වයෙන් ආපදාවට ලක්වූ ශ්‍රී ලාංකිකයන් පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර රොඩ්‍රිගෝ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
නේපාල දේශසීමාවේ පිහිටි ග්ලැසියරයකින් අයිස් සහ ගල් සහිත විශාල නායයෑමක් සිදුවී භෝටේ කොෂි ගඟේ අතු ගංගාවක් වන ලෙන්ඩේ කොලා ගඟ අවහිර වීම මෙම හදිසි ගංවතුර තත්ත්වයට හේතු වී තිබේ. මෙම ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් ඇති අතර, විදේශීය සංචාරකයින් 291 දෙනෙකු ඇතුළුව තවත් 400 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගංවතුර නිසා බෝත්කොෂි ගංගාව ආසන්නයේ පිහිටි ප්‍රධාන මහා මාර්ගයක් සම්පූර්ණයෙන්ම යටවී ඇති අතර, රසුවා දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම්, පාලම් සහ විදුලි බලාගාර ව්‍යාපෘති රැසකට දැඩි හානි සිදුව තිබේ.














