අනුරාධපුර බන්ධනාගාරයේ නිරීක්ෂණ සංචාරයක නිරත වූ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා එහි පරිශ්‍රයේ කටයුතු සහ රඳවා සිටින රැඳවියන්ගේ සුභසාධන පහසුකම් පිළිබඳව සොයා බලා තිබේ.
කාන්තා වාට්ටුව, බන්ධනාගාර පෝෂණ අංශය (මුළුතැන්ගෙය) සහ සැකකරුවන් රඳවා සිටින ස්ථාන නිරීක්ෂණය කළ අමාත්‍යවරයා, විවෘත බන්ධනාගාර කඳවුරේ රැඳවියන් හමුවී අදහස් හුවමාරු කර ගත්තේය. හදිසි අවස්ථාවකදී රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය තහවුරු කරමින් බන්ධනාගාර ආරක්ෂාව සහ රැඳවි සුභසාධනය ඉහළ නැංවීම සඳහා ස්ථාපිත කළ නව ඒකාබද්ධ හදිසි ප්‍රතිචාර දැක්වීමේ යාන්ත්‍රණය (Joint Emergency Response Mechanism) ද මෙහිදී අමාත්‍යවරයාගේ ඇගයීමට ලක්විය. බන්ධනාගාර දෙපාර්තමේන්තුව, පොලිසිය, ත්‍රිවිධ හමුදාව සහ සෞඛ්‍ය බලධාරීන් ඒකාබද්ධ කරමින් ඉදිරියේදී දිවයින පුරා පිහිටි සියලුම බන්ධනාගාර සඳහා මෙම වැඩපිළිවෙළ ව්‍යාප්ත කිරීමට රජය සැලසුම් කර ඇත.














