ඉන්දියාවේ දේශීය සබ්මැරීන නිෂ්පාදන කර්මාන්තය ශක්තිමත් කිරීමේ දිගුකාලීන අරමුණ ඇතිව, ජර්මනිය සමඟ අමෙරිකානු ඩොලර් බිලියන 7.3ක තීරණාත්මක ආරක්ෂක ගිවිසුමකට එළැඹීමට නියමිත බව වාර්තා වේ.
මෙම ගිවිසුම යටතේ ජර්මානු තාක්ෂණික දැනුම සහ ඉංජිනේරු සහය ඇතිව, මුම්බායි රාජ්‍ය ආරක්ෂක නැව් තටාකාංගනයේදී ඉන්දීය නාවික හමුදාව වෙනුවෙන් උසස් ප්‍රමිතියෙන් යුතු ඩීසල් සහ විදුලි බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන 6ක් නිෂ්පාදනය කිරීමට නියමිතය. සාම්ප්‍රදායික සබ්මැරීනවලට වඩා වැඩි කාලයක් ගැඹුරු ජලයේ රැඳී සිටීමේ හැකියාව සහිත මෙම සබ්මැරීන ව්‍යාපෘතිය සඳහා වන අවසාන අනුමැතිය ඉදිරි දින කිහිපය තුළ ඉන්දීය ආරක්ෂක කැබිනට් මණ්ඩලයෙන් හිමිවනු ඇතැයි ජර්මානු ආරක්ෂක ඇමැති බොරිස් පිස්ටෝරියස් (Boris Pistorius) තහවුරු කරයි.














