කුඩා කණ්ඩායම් විසින් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වැරදි මත පතුරුවමින් ජනතාව බිය ගැන්වීමට උත්සාහ දැරුවද, තමන් කිසිවිටෙකත් මෙරට පොදු ජනතාවට අගතියක් වන තීන්දුවක් නොගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
මීගමුව පෙරියමුල්ල අල්හිලාල් ජාතික පාසලේදී පැවති 42 වැනි මිලාද් උන් නබි දින රාජ්‍ය මහෝත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය. මෙයින් අගතියක් වන්නේ පාතාලයට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට පමණක් බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිසම සහ අධිකරණ පද්ධතිය ශක්තිමත් කරමින් නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන බව රටට තහවුරු කරන බවත් ඔහු පැවසීය. මත්ද්‍රව්‍ය උවදුර සහ පාතාලය මුලිනුපුටා දමන බවට ජනතාවට පොරොන්දු වූ ජනාධිපතිවරයා, ඉදිරි වසරක් වැනි කෙටි කාලයක් තුළ රාජ්‍ය සේවා ගනුදෙනු ඔන්ලයින් ක්‍රමයට සිදු කිරීමට අවශ්‍ය පද්ධතියක් සකස් කරන බවද සඳහන් කළේය. රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා දැනටමත් වැටුප් වර්ධක ලබා දී ඇති අතර ලබන ජනවාරියේදී ද යළි වැටුප් වර්ධක ලබා දීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














