තැපැල් දෙපාර්තමේන්තුවේ 2004 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා සිදුව ඇති මූල්‍ය වංචා සහ විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (COPA) විශේෂ අවධානය යොමු කර ඇත.
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී මෙම කාරක සභාව රැස් වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබේ. සුළු ස්වභාවයේ සිදුවීම් වෙනුවෙන් දීර්ඝ විමර්ශන පවත්වා සම්පත් වැය කිරීම වෙනුවට, වැදගත් මූල්‍ය වංචා සහ බරපතළ විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රමුඛතාව ලබා දී විමර්ශන කඩිනම් කරන ලෙස මෙහිදී දැඩි ලෙස අවධාරණය කර ඇත.
සමහර විමර්ශන වසර ගණනාවක් තිස්සේ අවසන් නොවී තිබීම, චෝදනා ලැබූ ඇතැම් පුද්ගලයන් අතුරුදන් වීම හෝ මියයාම, නීතිමය ක්‍රියාමාර්ග ප්‍රමාද වීම සහ විමර්ශන අංශයේ පවතින මානව සම්පත් හිඟය ආදී ගැටලු ද මේ සාකච්ඡාවට ලක් විය. මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති නිලධාරීන්ට එරෙහි විමර්ශන සහ විනය ක්‍රියාමාර්ග නියමිත කාලසීමාවක් තුළ අවසන් කරන ලෙසත්, අවසන් කරන ලද විමර්ශනවලට අදාළව වගකිවයුතු පාර්ශ්වයන්ගෙන් අලාභ අයකර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනම් කරන ලෙසත් කාරක සභාව උපදෙස් දී තිබේ.
මේ අතර, තැපැල් දෙපාර්තමේන්තුවේ අතිකාල දීමනා කළමනාකරණය විධිමත් කිරීම සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මඟින් පළාත් නවයම සහ මධ්‍යම තැපැල් හුවමාරුව ආවරණය වන පරිදි සිදු කළ වැඩ අධ්‍යයනය මත පදනම්ව ප්‍රශස්ත සේවක සංඛ්‍යාවක් (Optimum Cadre) හඳුන්වා දීමට පියවර ගනිමින් සිටින බව නිලධාරීහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළහ.














