ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල (KDU) ශික්ෂණ රෝහලේ පහසුකම් භාවිතා කරමින් නොමිලේ හෘද හා උරස් ශල්‍යකර්ම (cardiothoracic surgeries) සේවාවන් පුළුල් කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අතර ත්‍රිපාර්ශ්වික අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කර තිබේ.
අදාළ ආයතන නියෝජනය කරමින් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත (විශ්‍රාමික), සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති රියර් අද්මිරාල් එච්. ජී. යූ. ධම්මික කුමාර යන මහත්වරුන් මෙම ගිවිසුමට අත්සන් තැබූහ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නාලින්ද ජයතිස්ස මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් යෝජනාවකට අනුව ක්‍රියාත්මක වන මෙම නව මුල්පිරීම හරහා, කොළඹ ජාතික රෝහලේ හෘද ශල්‍යකර්ම සඳහා පවතින දිගු පොරොත්තු ලේඛනය සහ තදබදය අවම කර ගැනීමට අපේක්ෂා කෙරේ.
මෙම යටතේ ජාතික රෝහලේ හෘද ශල්‍යකර්ම ඒකකයේ විශේෂඥ වෛද්‍යවරුන් සහ සායනික කාර්ය මණ්ඩලය විසින් KDU රෝහලේදී රෝගීන් සඳහා නොමිලේ හෘද සැත්කම් සිදු කරන අතර, අවශ්‍ය යටිතල පහසුකම් සහ විශේෂඥ උපකරණ KDU ආයතනය මඟින්ද, අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය සහ වෛද්‍ය සැපයුම් සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින්ද ලබා දීමට නියමිතය.














