ශ්‍රී ලංකාවේ වෙරළබඩ හා සාගර පරිසර පද්ධතිය ආරක්ෂා කරගැනීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ ත්‍රිකුණාමලය, නිලාවේලි ප්‍රදේශයේ ස්ථාපිත කරමින් පවතින සුවිශේෂී කොරල් සංරක්ෂණ මධ්‍යස්ථානය සහ විද්‍යාගාර පරිශ්‍රය අගෝස්තු 25 වන දින පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ විශේෂ නිරීක්ෂණයට ලක්විය.
ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරය ආශ්‍රිතව හඳුනාගෙන ඇති කොරල් විශේෂ 245 අතුරින් දුර්ලභ ගණයේ පවතින කළු කොරල් (Black Coral) සහ රතු කොරල් (Red Coral) වැනි විශේෂ සංරක්ෂණය කිරීම මෙම මධ්‍යස්ථානයේ ප්‍රධාන අරමුණ වේ. සාගරයේ පවතින ස්වභාවික උෂ්ණත්වය සහ පාරිසරික තත්ත්වයන් කෘතිමව විද්‍යාගාර තුළ ප්‍රතිනිර්මාණය කරමින් කොරල් වගා කිරීම හා නැවත මුහුදු පත්ලේ රෝපණය කිරීම මෙහි මූලික කටයුතු වන අතර, මෙම වසරේ (2026) සැප්තැම්බර් මස අවසන් වන විට මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතය.
ඉදිරියේදී මෙය විශ්වවිද්‍යාල සිසුන්, පර්යේෂකයන් මෙන්ම මහජනතාව සඳහා කොරල් කෞතුකාගාරයක් හා පර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙස විවෘත කිරීමට නියමිත අතර, මේ හරහා කොරල් සම්බන්ධ පර්යේෂණ කටයුතු තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කෙරේ.














