ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ෂෙරටන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැති “ශ්‍රී ලංකාව ආයෝජනය කරන්න” ආයෝජක සංසදය හරහා මෙරට ප්‍රාග්ධන වෙළඳපොළේ ආයෝජන අවස්ථා ජාත්‍යන්තර ප්‍රජාව වෙත ඉදිරිපත් කරමින් ජාත්‍යන්තර ආයෝජක විශ්වාසය තහවුරු කිරීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) වරාය නගර කාර්යාලය සහ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සමඟ එක්ව සංවිධානය කළ මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා ඇතුළු ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සහභාගී වීම විශේෂත්වයකි.
මෙම සංසදයේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා පෙන්වා දුන්නේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ශ්‍රී ලංකාව B- මට්ටම දක්වා ඉහළ නංවා ගැනීමට පැහැදිලි මාවතක් නිර්මාණය වී ඇති බවයි. එසේම, වරාය නගරය තුළ ඕස්ට්‍රේලියානු ඩොලර්වලින් ආයෝජනය කිරීමට ඇති නම්‍යශීලී පරිසරය සහ විදේශගත ශ්‍රී ලාංකිකයන් සඳහා ආදාන ආයෝජන ගිණුම් (IIA) හරහා දින කිහිපයක් තුළ කොටස් වෙළඳපොළට පිවිසීමේ පහසුකම් සලසා ඇති බව ආයතනික ප්‍රධානීහු මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළහ.
මෙම ආයෝජක සංසදය හරහා දකුණු ආසියානු කලාපීය ආර්ථික වර්ධනයේ ප්‍රධාන ධාවකයක් ලෙස ශ්‍රී ලංකාව තවදුරටත් ස්ථානගත වන අතර, ඉදිරි කාලය තුළ විදේශීය අරමුදල් කළමනාකරුවන්ගේ සහ ඩයස්පෝරාවේ සක්‍රීය සහභාගීත්වය අපේක්ෂා කෙරේ. මෙරට ප්‍රතිපත්තිමය ස්ථාවරත්වය සහ මූල්‍ය විනය මත පදනම්ව ගොඩනැඟෙන මෙම නව ආයෝජන ප්‍රවාහය ඉදිරි ආර්ථික ප්‍රකෘතිය වේගවත් කිරීමට සහ ජාතික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ප්‍රබල රුකුලක් වනු ඇත.
















