ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර තලයේ ගෙන ගිය ඊනියා “දෙමළ ජන සංහාර” චෝදනාවට එරෙහිව කැනේඩියානු අධිකරණයකින් ශ්‍රී ලංකාවට දැවැන්ත සහ ඓතිහාසික නීතිමය ජයග්‍රහණයක් හිමිව තිබේ. ශ්‍රී ලංකාව තුළ කිසිදු අයුරකින් දෙමළ ජන සංහාරයක් සිදුවී නොමැති බව කැනේඩියානු අධිකරණය හරහා මෙලෙස නිල වශයෙන් තහවුරු කර ඇත.
කැනඩාවේ ලෝරෙන්ෂියන් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන ආචාර්ය නෙවිල් හේවගේ මහතා, ශ්‍රී ලංකා රජයේ කිසිදු සහායකින් තොරව තනිවම දියත් කළ මෙම නීතිමය සටන මෙම ජයග්‍රහණය පිටුපස ඇති ප්‍රධානම හේතුවයි.
සිදුවීම පසුපස ඇති පසුබිම ලෙස, 2022 වසරේදී එල්.ටී.ටී.ඊ හිතවාදී කණ්ඩායම් විසින් කැනේඩියානු පාර්ලිමේන්තුව හරහා මැයි 18 වන දා “දෙමළ ජන සංහාර අනුස්මරණ දිනය” ලෙස ප්‍රකාශයට පත් කරමින් ඊනියා දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත (TGEWA) සම්මත කරගනු ලැබීය. මෙම පනත හරහා කැනඩාවේ පාසල් විෂය නිර්දේශයන්ට ශ්‍රී ලංකාව පිළිබඳ විකෘති වූ ඉතිහාසයක් ඇතුළත් කිරීමට උත්සාහ කළ අතර, එයට එරෙහිව ආචාර්ය නෙවිල් හේවගේ මහතා ඩොලර් 350,000ක පමණ අරමුදලක් සපයා ගනිමින් නීතිඥ කණ්ඩායමකගේ සහායෙන් අධිකරණයට ගියේය. එහිදී ඔන්ටාරියෝ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදු වී නොමැති බව පැහැදිලිව තහවුරු කළ අතර, ඔන්ටාරියෝ අභියාචනාධිකරණය තීන්දු කළේ අධ්‍යාපනය පාලනය කරන ව්‍යවස්ථාපිත වගන්තිය යටතේ TGEWA පනත වලංගු නොවන බවයි. අවසාන වශයෙන් කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණයද මෙම තීරණය තහවුරු කරන ලදී.
මෙම ඓතිහාසික තීන්දුවත් සමඟ, “දෙමළ ජන සංහාරයක්” යනුවෙන් ගොඩනැගූ අසත්‍ය ප්‍රචාර මින් ඉදිරියට කැනේඩියානු පාසල් විෂයමාලාවලට ඇතුළත් කළ නොහැකි වන අතර, එය මාතෘභූමියේ කීර්ති නාමය වෙනුවෙන් ලැබුණු අමරණීය ජයග්‍රහණයකි.
















