මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයට සහභාගී වීම සඳහා මහනුවර නගරයට පැමිණ සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (27) පස්වරුවේ මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයන්හි මහා නායක සහ අනුනායක හිමිපාණන් වහන්සේලා හමුවී ආශීර්වාද ලබාගෙන තිබේ.
ජනාධිපතිවරයා ප්‍රථමයෙන් මල්වතු මහා විහාරයට පැමිණ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ අනුනායක දිඹුල්කුඹුරේ විමලධර්ම හිමියන් හමුවී උන්වහන්සේලාගේ සුවදුක් විමසා කෙටි සාකච්ඡාවක නිරත විය. අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත ගිය ජනාධිපතිවරයා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහානායක හිමිපාණන් වහන්සේ හමුවී ආශීර්වාද ලබාගත් අතර, මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ආචාර්ය හර්ෂ සුරංග මහතා ද එක්ව සිටියේය.














