මේ දිනවල පවතින දැඩි උණුසුම් කාලගුණ තත්ත්වය සහ පාසල් නිවාඩු සමයේ දරුවන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව සම්බන්ධයෙන් දෙමාපියන් දැඩි අවධානයක් යොමු කළ යුතු බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පෙන්වා දෙයි.
දිගු වේලාවක් දැඩි අව් රශ්මියේ ක්‍රීඩා කිරීමෙන් දරුවන්ගේ ශරීරයට දැඩි බලපෑම් ඇතිවිය හැකි බවත්, ඇතැම් අවස්ථාවලදී කම්පන තත්ත්වයන් මෙන්ම හෘදය වස්තුවට සහ මොළයට පවා බලපෑම් ඇති විය හැකි බවත් හෙතෙම සඳහන් කරයි. පවතින තද උණුසුම නිසා දරුවන් විජලන තත්ත්වයන්ට පත්වීමේ වැඩි අවදානමක් පවතින බැවින් දෙමාපියන් මීට වඩා කල්පනාකාරී විය යුතුය.
හිසරදය, වමනය, ඇඟපත රිදීම, නිදිමත ගතිය, අපහසුතාව, ආහාර අරුචිය සහ මුත්‍රා තද පැහැවීම යනු විජලනයේ මූලික ලක්ෂණ වන අතර, එළිමහනේ සෙල්ලම් කරන දරුවන්ට ප්‍රමාණවත් පරිදි ජලය ලබාදීම අත්‍යවශ්‍ය වේ. ජලයට අමතරව තැඹිලි වතුර, ජීවනී, දෙහි, දොඩම්, අඹ, දෙළුම්, කැඳ සහ සුප් වර්ග වැනි ස්වභාවික දියර වර්ග දරුවන්ට ලබාදීම ඉතා වැදගත් වේ.
එමෙන්ම හිරු මුදුන් වන වේලාවන්වලදී සරල කපු ඇඳුම් ඇඳීම, හිස් වැසුමක් භාවිත කිරීම සහ ගස් සෙවණක් වැනි සිසිල් ස්ථානයක විවේක ගැනීම වැනි ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු බවද විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.
















