මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ අතිශය තීරණාත්මක හා චාරිත්‍රානුකූල සමාප්තිය සනිටුහන් කරමින්, දිය කැපීමේ මංගල්‍යය අද (28) පෙරවරුවේ ගැටඹේ මහවැලි ගංතොටේදී ඉතා බැතිබර අයුරින් සිදුකරනු ලැබීය. ඊයේ (27) රාත්‍රියේ අති උත්කර්ෂවත් අයුරින් වීථි සංචාරය කළ අවසාන මහා රන්දෝලි පෙරහැරෙන් අනතුරුව, නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව් මහා දේවාල පෙරහැර දේව පූජා පවත්වා කටුකැලේ වීදිය ඔස්සේ ගැටඹේ තොට වෙත ගමන් කිරීමෙන් මෙම සම්ප්‍රදායික චාරිත්‍රය ඉටු කරනු ලැබිණි.
ගැටඹේ මහවැලි ගංතොටේදී සම්ප්‍රදායානුකූලව දිය කැපීමේ මංගල්‍යය සිදු කිරීමෙන් අනතුරුව, පෙරහැර යළි මහනුවර ගණදෙවි කෝවිල හරහා ගෙඩිගේ රජමහා විහාරය වෙත ළඟා වී ඇති අතර, එතැන් සිට පස්වරුවේ උතුරු දිශාමුඛව පිටත්වන දහවල් පෙරහැර ඩී.එස්. සේනානායක වීදිය, පන්සල පාර සහ දේව වීදිය ඔස්සේ රජවීදියට හැරී ශ්‍රී දළදා මාලිගා චතුරස්‍රය තෙවරක් ප්රදක්ෂිණා කිරීමට නියමිතය. පසුව සවස 4:01ට උතුරු දිශාමුඛව දළදා මාලිගාව වෙත පෙරහැර ගෙවැදීම සිදුකිරීමට නියමිතව තිබේ.
පෙරහැර සම්පූර්ණයෙන් ගෙවැදීමෙන් අනතුරුව, දියවඩන නිලමේ ඇතුළු සිව් මහා දේවාලයන්හි බස්නායක නිලමේවරුන් ජනාධිපති මන්දිරය වෙත ගමන් කර ඇසළ පෙරහර මංගල්‍යය සාර්ථකව නිමා කළ බව දන්වන නිල සංදේශය ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතව ඇත. එහිදී පෙරහැර වෙනුවෙන් දැඩි කැපවීමෙන් දස්කම් දැක්වූ කලාකරුවන්ට සම්මාන ප්රදානය කිරීමෙන් පසු මෙවර ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිල වශයෙන් නිමාවට පත්වනු ඇත.
















