එප්පාවල ලංකා පොස්පේට් සමාගමේ නිෂ්පාදන හා මෙහෙයුම් ධාරිතාව තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් රුපියල් මිලියන 110ක් වටිනා නව යන්ත්‍රෝපකරණ සහ මෙහෙයුම් වාහන නිල වශයෙන් භාවිතයට එක් කිරීම කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි. මෙම ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 79ක වියදමින් වීල් ලෝඩර් යන්ත්‍ර දෙකක්, රුපියල් මිලියන 18ක වියදමින් ටිපර් රථ දෙකක් සහ රුපියල් මිලියන 13ක වියදමින් ෆෝක් ලිෆ්ට් යන්ත්‍ර දෙකක් ආයතනයේ දෛනික මෙහෙයුම් කටයුතු සවිමත් කිරීම සඳහා යොදවා ඇති අතර, ආයතනයේ ඉදිරි ගමන වෙනුවෙන් නව රියදුරන් පිරිසක් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් සිදු විය.
గිය මාස 20ක කෙටි කාලසීමාව තුළ සැලකිය යුතු ආයතනික ප්‍රගතියක් අත්කර ගනිමින් සිටින මෙම සමාගම, රුපියල් මිලියන 76ක වියදමින් නව නිමි භාණ්ඩ ගබඩාවක් ඉදිකිරීම, අක්‍රීයව පැවති යන්ත්‍රෝපකරණ යළි සක්‍රීය කිරීම මෙන්ම නව උපායමාර්ගික සැලසුම් හා ඩිජිටල් සේවා හඳුන්වා දීමට පියවර ගෙන ඇත. පාරිභෝගික විශ්වාසය සහ විනිවිදභාවය තහවුරු කිරීම පිණිස නිෂ්පාදන මත උපරිම සිල්ලර මිල මුද්‍රණය කිරීම, APM තෙල් පොහොර වෙළෙඳපොළට හඳුන්වා දීම සහ බෙදාහැරීමේ ජාලය විධිමත් කිරීම හරහා රාජ්‍ය ආයතනයක් ලෙස ජාතික ආර්ථිකයට ලබාදෙන දායකත්වය වඩාත් තීව්‍ර කර තිබේ.
මෙවැනි තාක්ෂණික හා මෙහෙයුම් සංවර්ධන වැඩපිළිවෙළ ඔස්සේ රාජ්‍ය ව්‍යවසායන් ලාභදායී මාවතකට ප්‍රවිෂ්ට කරවීම රටේ සමස්ත කාර්මික අංශයේ ස්ථාවරත්වයට සෘජු බලපෑමක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. අනාගත ආහාර සුරක්ෂිතතාව සහ කෘෂිකාර්මික උන්නතිය සඳහා අත්‍යවශ්‍ය වන පොස්පේට් සම්පත වඩාත් විධිමත් හා කාර්යක්ෂම ලෙස ජාතික වෙළෙඳපොළට සැපයීමට මෙම නව යන්ත්‍රෝපකරණ එකතුවීම විශාල පිටුවහලක් වන අතර, මෙවැනි ආයතන නිසි කළමනාකරණයෙන් යුතුව නංවාලීම වත්මන් සංවර්ධන ක්‍රියාවලියේ සන්ධිස්ථානයක් බවට පත්ව තිබේ.
















