‘ඇමෙරිකා මධ්‍යම බුද්ධි අංශය’ හෙවත් ‘සී.අයි.ඒ’ (CIA) සංවිධානයේ ප්‍රධානී ජෝන් රැට්ක්ලිෆ් රහසේම රුසියාවේ මොස්කව් අගනුවර සංචාරයක නිරත වී ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබේ. මෙම සංචාරය මාධ්‍ය විසින් අනාවරණය කිරීමත් සමඟ අදහස් දක්වා ඇති ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ එය ‘සාමාන්‍ය’ සංචාරයක් පමණක් බවත්, දේශපාලනික මත ගැටුම් පැවැතියද ඇමෙරිකා-රුසියා බුද්ධි ප්‍රධානීන් අතර සුහදත්වයක් පවතින බවත්ය.
හමුදා ගුවන් යානයකින් රුසියාවට ගොස් ඇති ජෝන් රැට්ක්ලිෆ්, රුසියානු විදේශ බුද්ධි සේවයේ ප්‍රධානී සර්ගේ නාරිෂ්කින් ඇතුළු ඉහළ පෙළේ රුසියන් බුද්ධි නිලධාරීන් හමුවී ඇති බව ක්‍රෙම්ලීනය තහවුරු කර ඇත. මීට වසර පහකට පෙර එවකට සී.අයි.ඒ. ප්‍රධානී ලෙස කටයුතු කළ විලියම් බර්න්ස් ද රුසියාව යුක්රේනයට ආක්‍රමණයක් සිදු කිරීමට පෙර මෙලෙස මොස්කව් වෙත ගොස් තිබූ අතර, රැට්ක්ලිෆ් මෙම හමුවේදී රුසියන්-යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන්න ඇතැයි මාධ්‍ය පවසයි. කෙසේ වෙතත්, මෙම සාකච්ඡාවල අන්තර්ගතය මෙතෙක් ප්‍රසිද්ධියට පත් කර නැත.
















