තමා සෑම විටම ප්‍රායෝගික බෞද්ධයෙකු ලෙස දහම් පාසල් සහ චෛත්‍යරාජයාණන් වහන්සේලා ඉදිකිරීම් ඇතුළු සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් විශාල සේවාවක් සිදු කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. ලුණුගම්වෙහෙර පුංචි අප්පු ජදුර ශ්‍රී අශ්වත්ථාරාම පුරාණ මහා විහාරයේ පැවැති සර්වඥ ධාතු ප්‍රදර්ශනයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
රටට අවශ්‍ය ප්‍රදර්ශනාත්මක බෞද්ධකම නොවන බවත්, බොහෝ අය දේශපාලන ප්රතිරූප ගොඩනැගීමට ආගම යොදා ගන්නා බවත් ඔහු පෙන්වා දුන්නේය. කැමරාවට සහ සමාජ මාධ්‍යයට පමණක් සීමා වූ බෞද්ධකමකින් සම්බුද්ධ ශාසනය සුරක්ෂිත නොවන බවත්, බුදුසසුනට අවශ්‍ය ආගම දහම සුරක්ෂිත කරන ප්‍රායෝගික බෞද්ධයන් බවත් ඔහු අවධාරණය කළේය. සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීම සියලු දෙනාගේම වගකීමක් වන අතර, ඊට අමතරව සෙසු ආගම් සහ සංස්කෘතීන් ද ආරක්ෂා වන ආකාරයට ජාති, ආගම්, කුලමල, පන්ති පක්ෂ භේදයෙන් තොරව ලක්ෂ 220ම එකට එකතු විය යුතු බවද ඔහු සඳහන් කළේය.
මීට අමතරව, පසුගිය වසර 7 තුළ ඛේදවාචක 5කට මුහුණු දුන් ශ්‍රී ලංකාව දැන් එල්නීනො සහ ලානීනා තත්ත්වයන් යටතේ බරපතල දේශගුණික විපර්යාසවලට මුහුණ දිය හැකි බවත්, නේපාලයේ සිදුවූ ඛේදවාචකය මීට හොඳම උදාහරණය බවත් ඔහු පෙන්වා දුන්නේය. රටේ එක් පැත්තක නියඟයක් ඇති වී තිබීම නිසා වගා හානි, ආහාර සුරක්ෂිතභාවය මෙන්ම අලි මිනිස් ගැටුම ආදී ප්‍රශ්න රැසක් නිර්මාණය විය හැකි බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
















