රාජ්‍ය සේවකයින් සාම්ප්‍රදායික මානසිකත්වයෙන් වහා මිදිය යුතු බවත්, රජයේ කාර්යාල යනු තමන්ගේ නිල බලය හෝ තනතුරේ බලය පෙන්වන ස්ථාන නොවිය යුතු බවත් මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
පරණ බිත්තිවලින් වටවූ අඳුරු කාර්යාල ක්‍රමයෙන් රාජ්‍ය අංශය එළියට පැමිණිය යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මහාමාර්ග අමාත්‍යාංශයේ තමන් දැනට භාවිත කරන කාර්යාලය පවා ටෙනිස් පිටියක් තරම් විශාල එකක් බවත්, ඉදිරියේදී එවැනි අධික ඉඩකඩ සහිත කාර්යාල කාමර තැනීම තහනම් කළ යුතු බවත් අවධාරණය කළේය. සැබෑ සුදුසුකම් සහිත නිලධාරීන්ට තම පෞරුෂය පෙන්වීමට අධික පිරිවැයක් දැරූ ගෘහ භාණ්ඩ හෝ විශාල කාමර අවශ්‍ය නොවන බවත්, ඉදිරියේදී කණ්ඩායමක් ලෙස එකට වැඩ කළ හැකි “වර්ක් ස්ටේෂන්” (Workstation) ආකෘතියට රාජ්‍ය කාර්යාල පද්ධතිය මාරු විය යුතු බවත් ඔහු පැවසීය. එමෙන්ම විවිධ ස්ථානවල විසිරී ඇති එකම අමාත්‍යාංශයකට අයත් ආයතන එකම පරිශ්රයකට ගොනු කිරීමට තීරණය කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














