මෝටර් රථ ආනයනයට අදාළ බදු එකතු කිරීම් සැලකිය යුතු ලෙස ඉහළ යෑමත් සමඟ ශ්‍රී ලංකා රේගුව මෙරට විශාලතම බදු ආදායම් උපයන්නා බවට පත්ව තිබේ.
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ 2026 ජනවාරි – ජුනි මූල්‍ය සමාලෝචන වාර්තාවට අනුව, වසරේ මුල් මාස හය තුළ මුළු බදු ආදායම 25.9%කින් ඉහළ ගොස් රුපියල් බිලියන 2,710.6ක් ලෙස වාර්තා වී ඇත. එය රුපියල් බිලියන 4,910ක වාර්ෂික ඇස්තමේන්තුවෙන් 55.2%ක ප්රගතියකි.
එහිදී ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 1,290ක් එකතු කරමින් සමස්ත බදු ආදායමෙන් 48%ක දායකත්වයක් ලබා දී ඇති අතර, මෝටර් රථ ආනයන බදු ආදායම රුපියල් බිලියන 266.4 දක්වා දෙගුණයකටත් වඩා ඉහළ ගොස් තිබේ. එමෙන්ම රේගුව හරහා එකතු කරගත් ආනයනික වැට් බදු (VAT) ප්‍රමාණය රුපියල් බිලියන 443.7ක් ලෙස සටහන් වේ.














