යේමනයේ වසර 10කට වැඩි කාලයක් තිස්සේ පවතින අභ්‍යන්තර යුද්ධය හමුවේ එරට අධ්‍යාපන පද්ධතිය සම්පූර්ණයෙන්ම දෙකට බෙදී යාම නිසා උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වීමට බලාපොරොත්තු වන දහස් සංඛ්‍යාත සිසුන්ගේ අනාගතය දැඩි අවිනිශ්චිතතාවයකට ලක්ව ඇති බව අල් ජසීරා (Al Jazeera) පුවත් සේවය වාර්තා කරයි.
හූති (Houthi) කැරලිකරුවන්ගේ පාලනය යටතේ පවතින සනා (Sanaa) ඇතුළු ප්‍රදේශවල උසස් පෙළ අවසන් කළ සිසුන්ගේ අධ්‍යාපනික සහතිකපත් (High School Certificates) නීත්‍යානුකූලව අනුමත කිරීම, ඒඩන් (Aden) හි පිහිටි ජාත්‍යන්තරව පිළිගත් යේමන රජයේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අත්හිටුවා තිබේ. එම සහතිකවල නිවැරදිභාවය තහවුරු කරගැනීමට අවශ්‍ය දත්ත පද්ධති ලබාදීමට හූති පාලනාධිකාරිය කටයුතු නොකිරීම මීට හේතුව බව රජය පවසයි.
2015 සිට යේමනය කලාප දෙකකට බෙදී පැවතීම නිසා දෙපාර්ශ්වයම වෙනස් වූ අධ්‍යාපන ක්‍රමවේද, විෂය නිර්දේශ සහ විභාග රටාවන් පවත්වාගෙන යයි. මෙම දේශපාලනික හා රාජ්‍ය තාන්ත්‍රික ගැටුම් හමුවේ තමන් වසර 12ක් පුරා ලබාගත් පාසල් අධ්‍යාපනය අපතේ ගොස් ඇති බව පවසන සිසුන්, පාලකයින්ගේ ගැටුම්වලට සිසුන් පළිගැනීම අසාධාරණ බව පෙන්වා දෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව මේ වන විට යේමනයේ ළමුන් මිලියන 6.6කට අධික සංඛ්‍යාවකට පාසල් අධ්‍යාපනය අහිමි වී ඇති අතර පාසල් 2,800ක් පමණ විනාශ වී හෝ අක්‍රිය වී ඇත.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්














