ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සම්බන්ධයෙන් මතභේදයක් මතුව තිබේ. විනිසුරුවන්ගේ යෝජිත විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු විසින් මතු කරන ලද උත්සුකයන් ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත. 22 වන ව්‍යවස්ථාව යනු පුළුල් අධිකරණ ප්‍රතිසංස්කරණවල කොටසක් වන බවත්, එය නිශ්චිත විනිසුරුවරයකුගේ ධූර කාලය දීර්ඝ කිරීමේ අරමුණින් සිදුකළක් නොවන බවත් රජය අවධාරණය කරයි.
අගෝස්තු 21 වන දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය වෙත යවන ලද සත්-පිටු වාර්තාවකින් රජය මේ බව සඳහන් කර තිබේ. නඩු ඇකඩී යාම අවම කිරීම, යුක්තිය පසිඳලීමට ඇති ප්‍රවේශය වැඩිදියුණු කිරීම සහ අධිකරණමය විශේෂඥ දැනුම හා ආයතනික දැනුම රඳවා ගැනීම මෙම යෝජිත වෙනස්කම්වල මූලික අරමුණ වී ඇති බව රජය පෙන්වා දී ඇත.
කෙසේ වෙතත්, විනිසුරුවන්ගේ සහ නීතිඥයන්ගේ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනී මාග්‍රට් සැටර්ත්වේට් මහත්මිය අගෝස්තු 7 වන දින අනතුරු අඟවා තිබුණේ, වත්මන් විනිසුරුවන් සඳහා ද මෙම වෙනස්කම් යෙදවීම මඟින් අධිකරණයේ ස්වාධීනත්වය, බලය බෙදීම සහ මහජන විශ්වාසය කෙරෙහි බලපෑම් ඇති විය හැකි බවයි.
යෝජිත ප්‍රධාන වයස් සීමා වෙනස්කම් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වා වැඩි කිරීමත්, අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වා වැඩි කිරීමත් සිදු වේ. තවද, අගවිනිසුරුවරයාගේ විශ්‍රාම වයස අවුරුදු 67 දී හෝ අගවිනිසුරු ලෙස පත්වූ දින සිට වසර හයක කාලයක් සම්පූර්ණ වූ පසු (ඉන් පළමුව සිදුවන දෙය මත) විශ්‍රාම යෑමට සැලැස්වීම සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ උපරිම සංඛ්‍යාව 19 සිට 24 දක්වා වැඩි කිරීම ද මෙයට ඇතුළත් වේ. මීට අමතරව මහාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස අවුරුදු 61 සිට 63 දක්වා වැඩි කිරීම සහ අනෙකුත් විනිසුරුවන් හා මහේස්ත්රාත්වරුන්ගේ අනිවාර්ය විශ්‍රාම වයස අවුරුදු 62 ලෙස නියම කිරීම ද යෝජනා කර ඇත.
මෙම යෝජනා කිසිදු විශේෂ පාර්ශ්වයකට වාසි සැලසීම සඳහා හෝ ආයතනික අරමුණු වෙනස් කිරීම සඳහා ඉදිරිපත් කර නැති බව රජය පවසා සිටී. ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද මෙම යෝජිත සංශෝධනවල ව්යවස්ථනුකූලභාවයට අභියෝග කර ඇති අතර, මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් කිහිපයක්ද ගොනු කර ඇත. අධිකරණයේ තීරණය සම්පූර්ණයෙන් ගෞරවයට පාත්‍ර කරන බව රජය වැඩිදුරටත් සඳහන් කර ඇත.














